ශ්‍රී ලංකාවේ ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම සහ ඉන්ධන සැපයුම් හා ප්‍රවාහන වියදම් අවම කිරීමේ අරමුණින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ක්‍රියාත්මක කරන ජෙට් A-1 නළ මාර්ග හා තෙල් ටැංකි ව්‍යාපෘති අද (02) ආරම්භ කිරීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වරාය හා සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් එම ව්‍යාපෘති ආරම්භ කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන ලදී.
මුතුරාජවෙල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ කරමින් කිලෝමීටර් 21ක දිගින් සහ අඟල් 10ක විෂ්කම්භයකින් යුත් භූගත නළ මාර්ගයක් ඉදිකිරීමට නියමිතය.
එමෙන්ම ඝන මීටර් 92,000ක සමස්ත ධාරිතාවකින් යුත් ජෙට් A-1 ඉන්ධන ටැංකි පහක් ද ඉදිකෙරෙන අතර, ව්‍යාපෘතිය මාස 30ක් තුළ නිම කිරීමට අපේක්ෂිතය.
දැනට භාවිත කරන බවුසර් සහ දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය වෙනුවට නළ මාර්ග පද්ධතිය භාවිත කිරීමෙන් ප්‍රවාහන හා මෙහෙයුම් වියදම් අඩු කිරීමට මෙන්ම මාර්ග තදබදය සහ පාරිසරික බලපෑම් අවම කිරීමට ද හැකි වනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන ලදී.






