පාර්ලිමේන්තුවේ අද (21) පැවති සැසිවාරයේදී සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය අතර සංවාදයක් ඇති විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 3,000ක් පමණ නිෂ්පාදනය කළද, බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems) සම්බන්ධ සැලසුම් ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක වී නොමැති බවයි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ, සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු නිවැරදි නොවන බවයි. ඔහුට අනුව 2024දී රූෆ්ටොප් සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 867ක් වූ අතර, 2025 වන විට එය මෙගාවොට් 1,674 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම පවත්වාගෙන යාම සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති හඳුන්වාදෙන බවත්, ලබන වසර අවසන් වන විට මෙගාවොට් 560ක බැටරි ගබඩා ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.