පූර්ව ළමාවිය සංවර්ධනය දරුවෙකුගේ සමස්ත ජීවිතයටම බලපාන තීරණාත්මක අවධියක් බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවාය.

ඇය සඳහන් කළේ පූර්ව ළමාවිය සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක හතරක් වන කායික, බුද්ධිමය, භාෂාමය සහ චිත්තවේගීය හා සමාජීය සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

කායික සංවර්ධනය තුළ දරුවාගේ ශරීර වර්ධනය, මාංශපේශි සහ මොළයේ ක්‍රියාකාරීත්වය මෙන්ම සෞඛ්‍ය වර්ධනය වැදගත් වන අතර, බුද්ධිමය සංවර්ධනයේදී ඉගෙනීමේ හැකියාව, අවධානය යොමු කිරීම, මතකය සහ ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කිරීම ප්‍රමුඛ වන බව ඇය පැවසුවාය.

භාෂා සංවර්ධනය යනු අකුරු ලිවීම හෝ කියවීම පමණක් නොව, දරුවාට තම අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීම, නිවැරදි උච්චාරණය සහ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම බවද ඇමතිවරිය අවධාරණය කළාය.

තවද හැඟීම් පාලනය, අනෙකුත් අය සමඟ සබඳතා ගොඩනැගීම සහ පරිසරයට අනුගත වීම වැනි චිත්තවේගීය හා සමාජීය කුසලතා ද මෙම අවධියේදී ගොඩනැගෙන බැවින් පූර්ව ළමාවිය අධ්‍යාපනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.