78 වන නිදහස් සමරුව සංකේතවත්කරමින් පෙබරවාරි 4-8 දක්වා දිවයින පුරා පරිසර ආරක්ෂණ, පොලිස් සතියක් ප්‍රකාශයට පත්කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.කේ.එම්.පී. පෙරේරා මහතා විසින් නිවේදනය කරන ලදී.

ඒ සදහා පරිසර සංරක්ෂක වැඩසටහන් හා ප්‍රජාව දැනුවත්කිරිමේ වැඩසටහන් සුදානම්කර ඇතැයි ද පෙබරවාරි 4 සහ 5 දෙදින දිවයින පුරා පොලිස් ස්ථාන 605ක පැල 15200 ක් රෝපණය කිරිමේ වැඩසටහනක් හා 6-8 තෙදින තුළ පරිසරය සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරිමද සිදු කරනු ලබන බව ද මාධ්‍ය ප්‍රකාශක විසින් දන්වන ලදි.

දෙවන වැඩසටහන ලෙස මහජනයා ගැවසෙන පොදු ස්ථාන පවිත්‍රතාවයෙන් පවත්වාගෙන යාම පිළිබදව කටයුතු සිදු කරනු ලබන බවත්, මෙම කටයුත්ත, එම ස්ථානයන් අයිති, එහි නේවාසිකව සිටින, හෝ එම ස්ථාන භාවිතාකරන පුද්ගලයින් එකතුකරගනිමින්, සාකච්ඡාකර, කුඩා කමිටුවක් පත්කරගෙන එම ස්ථාන පවිත්‍රතාවයෙන් යුතුව පවත්වාගෙන යාම පිළිබදව ක්‍රියාත්මක කරනු ලබන බවද සඳහන් කළේය.