2012 වසරේදී මෙරටට ගෙන්වන ලද 16 සහ 17 වැනි ගල්අඟුරු නැව් දෙක ගිවිසුමේ කොන්දේසිවලට පටහැනිව, තම අනුමැතියකින් තොරව ගෙන්වූ ඒවා බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරන ලදී.

ඔහු සඳහන් කළේ, අදාළ ගිවිසුම අනුව වාරකම් සමයේදී ගල්අඟුරු නැව් ගෙන්වීමට නොහැකි බව පැහැදිලිව සඳහන්ව තිබියදීත් එම නැව් දෙක මෙරටට පැමිණි බවය. එම හේතුවෙන් ඒවා ගොඩබෑමට නොහැකි වූ බවද ඔහු පැවසීය.

එසේම එම අදාළ නැව් සම්බන්ධයෙන් ගත යුතු තීරණ ලංකා නැව් සංස්ථාව සහ ලංකා ගල්අඟුරු සමාගම විසින් ගත යුතුව තිබූ බවත්, පසුව ඇති වූ ගැටලු විසඳීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබූ බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද, නැව් ගොඩබෑම වැළැක්වීමට සහ ගෙවීම් නතර කිරීමට තමන් පියවර ගත් නමුත්, නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් එම තීරණ වෙනස් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඇති බව තමන් විශ්වාස කරන බව පැවසූ පාඨලී චම්පික රණවක, අදාළ නැව් දෙක සම්බන්ධ වගකීම තමන්ට නොව ලංකා නැව් සංස්ථාවට සහ ලංකා ගල්අඟුරු සමාගමට පැවරෙන බව වැඩිදුරත් අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>