පසුගිය දින කිහිපයේ සහ අද දිනයේ ලැබුණු වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වසන්ත සේනාධීර ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව කළුතර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ ප්‍රදේශ කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු හා දෙවන මට්ටම් යටතේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේය.

කාලගුණ අනාවැකි අනුව අද දිනයේ ද යම් ප්‍රමාණයක වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බැවින් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව විශේෂ අවධානයෙන් පසුවිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

වර්ෂාව වැඩි වුවහොත් අවදානම් ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත්, කඳු ආශ්‍රිත මාර්ග භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් දැනුම් දී තිබේ. එමෙන්ම, කණ්ඩි කඩා වැටීමේ සහ ගල් පෙරළීමේ අවදානමක් පවතින ස්ථානවල සිටින ජනතාව ද ආරක්ෂාව සඳහා එම ප්‍රදේශවලින් ඉවත් විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>