සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ හතරක් යටතේ නව පත්වීම් 223ක් ලබා දීමට අද (14) පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රදාන උත්සවය පැවැත්විණි.

රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පරිපාලනමය මෙහෙයුම් මෙන්ම සහායක සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම හා විධිමත් මට්ටමකින් පවත්වාගෙන යාම මෙම බඳවා ගැනීම්වල මූලික අරමුණ වී තිබේ.

ඒ අනුව, රාජ්‍ය සෞඛ්‍ය සේවා කළමනාකරණ සහකාර තනතුර සඳහා 36 දෙනෙකුටද, ගබඩාකරු තනතුර සඳහා 27 දෙනෙකුටද, සුළු සේවා පාලක තනතුර සඳහා 06 දෙනෙකුටද සහ සෞඛ්‍ය කාර්ය සහයක තනතුර සඳහා 154 දෙනෙකුටද මෙහිදී නිල වශයෙන් පත්වීම් ලබා දී ඇත.

දිවයිනේ විවිධ රෝහල්වල සිදුකළ නිරීක්ෂණ චාරිකාවලදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය සම්බන්ධයෙන් දැඩි ඉල්ලීම් ඉදිරිපත් වූ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එම ගැටලුවලට විසඳුම් සෙවීම පිණිස රාජ්‍ය සේවයේ මානව සම්පත් අවශ්‍යතා සමාලෝචනය කරමින් බඳවා ගැනීම් සිදු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බව අමාත්‍යවරයා පැවසීය.

එම ක්‍රියාවලිය යටතේ අනුමැතිය හිමිවූ තනතුරු සඳහා අවශ්‍ය බඳවා ගැනීම් මේ වන විට අවසන් කර ඇති අතර, මෙම මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,600ක කණ්ඩායමක් බඳවා ගැනීමටද නියමිතය.

තවද, මෙම නව ස්ථීර පත්වීම්ලාභීන් සඳහාද රජය ක්‍රියාත්මක කරන වැටුප් සංශෝධනවල ප්‍රතිලාභ හිමිවන බවත්, ජනවාරි මාසයේ සිට මූලික වැටුප් වැඩිවීමක් සහ ජූලි මාසයේ සිට දීමනා වැඩිවීමක් ලබා දීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.