ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සහ ජාතික හා පළාත් පාසල් අතර ගුරු මාරුවීම් සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී ඇත. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභාවේ කරුණු පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු නිවේදනයකින් දක්වා තිබේ.

එම රැස්වීමේදී එකම පාසලක වසර 10කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ගේ මාරුවීම් සම්බන්ධ ප්‍රායෝගික ගැටලු සාකච්ඡා විය. විශේෂයෙන් හම්බන්තොට, පොලොන්නරුව සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල දුරස්ථ පාසල් සම්බන්ධයෙන් පවතින කිලෝමීටර් 30ක දුර සීමාව නැවත සමාලෝචනය කරන ලෙස ගුරු මාරු මණ්ඩලයට දැනුම් දීමට තීරණය කෙරිණි. ඇතැම් ජාතික පාසල්වල වසර 10කට වැඩි සේවා කාලයක් ඇති ගුරුවරුන්ට වෙනත් ජාතික පාසල් නොමැති වීමෙන් මතුවන ගැටලුව හේතුවෙන්, ස්ථාන මාරුවීම් සඳහා පමණක් ජාතික සහ පළාත් පාසල් අතර මාරුවීම් කිරීමේ හැකියාව ගැන නීතිපති උපදෙස් පැතීමට තීරණය විය.

ගුරු දත්ත පද්ධතියේ අඩුපාඩු සහ සේවා කාල තොරතුරු නිවැරදිව ඉදිරිපත් නොකරන බවට සැක කෙරෙන පාසල් භෞතිකව පරීක්ෂා කිරීම ගැනද සාකච්ඡා වූ අතර, 2027 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි උතුරු පළාතේ ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය වෙනුවට නව ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවධානය යොමු කර ඇත. පාසල්වල අඩක් නිම කළ සහ වැඩ අවසන් කර භාර නොදුන් ගොඩනැගිලි පිළිබඳවද සොයා බැලුණු අතර, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ වැඩ අවසන් කර භාර නොදුන් ශ්‍රවණාගාරයේ ශබ්ද පාලන පැනල සහ වායු සමීකරණ පද්ධති විනාශ වීම ගැන වෙනම විමර්ශනයක් කිරීමට තීරණය කර තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් වවුනියාවේ චෙම්බලම්කුලම් සහ තාජනිකුලම් පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල අඩුපාඩු සඳහා පළාත් ප්‍රතිපාදන වෙන් කිරීමටත්, හම්බන්තොට ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් පාසල් පහක ව්‍යාපෘති 21න් 12කට ඇස්තමේන්තු අනුමත කර ප්‍රතිපාදන ලබා දීමටත් තීරණය විය. මීට අමතරව පෙර පාසල් විෂය නිර්දේශ අධීක්ෂණයේ අඩුපාඩු, පළාත් සභා සහ අමාත්‍යාංශ අතර වගකීම් බෙදී යෑම, විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු සහ නොමිලේ පාසල් දිවා ආහාර වැඩසටහනේ මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම හා ආහාර ගුණාත්මකභාවය පිළිබඳවද කාරක සභාවේදී අවධානය යොමු කර ඇත.