අභ්‍යවකාශයේ දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා පෘථිවි කක්ෂයට චන්ද්‍රිකා මිලියනයක් දියත් කිරීමට ඉලෝන් මස්ක්ට අයත් SpaceX සමාගමට අමෙරිකානු නියාමකයින්ගේ අනුමැතිය ලැබී ඇත. මෙවැනි ව්‍යාපෘතියක් සඳහා ලබා දුන් පළමු අනුමැතිය ලෙස මෙය සැලකේ.
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත සැකසීමට සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන චන්ද්‍රිකා යොදාගෙන, එම දත්ත යළි පෘථිවියට එවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව සඳහන් වේ. ‘Starmind’ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මඟින් අමෙරිකාවේ වේගයෙන් වර්ධනය වන “සුපිරි බුද්ධි ආර්ථිකයට” සහාය වනු ඇතැයි අමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම (FCC) නිවේදනය කර ඇත.
FCC බලපත්‍රයට අනුව 2033 නොවැම්බර් මාසයට පෙර චන්ද්‍රිකා ස්ථාපනය ආරම්භ කළ යුතු අතර, 2035 වන විට ඉන් 10%ක් සහ 2038 වන විට 50%ක් කක්ෂගත කළ යුතු වේ. ලබන වසරේදී පළමු Starmind චන්ද්‍රිකාව දියත් කිරීමට SpaceX සමාගම අපේක්ෂා කරයි. පෘථිවියේ සිට කිලෝමීටර් 500–2,000 අතර පහළ කක්ෂයේ රඳවන මෙම චන්ද්‍රිකා, දැනටමත් ක්‍රියාත්මක වන Starlink ජාලය සමඟ සන්නිවේදනය කරමින් දත්ත පෘථිවියට සම්ප්‍රේෂණය කරනු ඇත.
පෘථිවිය මත විශාල දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට අධික විදුලියක් සහ සිසිලන ජලයක් වැය වන බැවින් අමෙරිකාව පුරා ප්‍රාදේශීය ප්රජාවන්ගෙන් විරෝධයක් එල්ල වී ඇති අතර, පසුගිය නොවැම්බර් මැතිවරණයේදීද එය ප්‍රධාන මාතෘකාවක් වූ බව සඳහන් වේ. පෘථිවියේ ධාරිතාව ඉක්මවා යන AI පරිගණක බලය සඳහා වඩාත්ම පිරිවැය සහ බලශක්ති කාර්යක්ෂම විසඳුම කක්ෂීය දත්ත මධ්‍යස්ථාන බව SpaceX පවසයි. Google සහ Blue Origin වැනි සමාගම්ද මෙවැනි සංකල්ප ගවේෂණය කරමින් සිටින බව වාර්තා වේ.
මෙම අනුමැතිය පරිගණක යටිතල පහසුකම්වල නව පියවරක් බව FCC සභාපති බ්‍රෙන්ඩන් කාර් ප්‍රකාශ කළ අතර, මෙය අමෙරිකාවටත් ලෝකයටත් විශාල සම්පතක් වනු ඇතැයි ඉලෝන් මස්ක් X සමාජ මාධ්‍යයේ සටහනකින් පවසා ඇත. කෙසේ වෙතත් චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ පිරිවැය, සිසිලන හා ආරක්ෂණ සංකීර්ණතා, අභ්‍යවකාශ සුන්බුන් නිසා සිදුවිය හැකි හානි සහ පහළ කක්ෂයේ චන්ද්‍රිකා ගහණය ඉහළ යෑමෙන් ගැටීමේ අවදානම වැඩි විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.




