ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවේ 12 වැනි අදියර වන ‘මිත්‍ර ශක්ති – XII’ යුද අභ්‍යාසය සාර්ථකව අවසන් විය. නොවැම්බර් 13 වැනිදා සිට නොවැම්බර් 26 වැනිදා දක්වා මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී මෙම අභ්‍යාසය පැවැත්විණි.
මෙම අභ්‍යාසයට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසු නිලයන් 153 දෙනෙකුද, ඉන්දීය යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 150 දෙනෙකුද සහභාගි වූහ. අභ්‍යාස පාලන හා සහායක අංශද ඇතුළුව භට පිරිස් 650කට අධික සංඛ්‍යාවක් මෙම වැඩසටහනට දායක වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඊට දායකත්වය ලබා දී ඇත.
බලඇණි මට්ටමේ කැරලි මර්දන මෙහෙයුම්, ගුවන් සහාය, ඒකාබද්ධ කිරීම්, නාගරික හා කැලෑබද සටන්, ජීව වෙඩි තැබීම්, රැක සිට පහර දීමේ මෙහෙයුම්, රථ පෙළ ආරක්ෂාව සහ මහජන සාමය පවත්වාගැනීමේ මෙහෙයුම් ඇතුළු පුහුණු ක්‍රියාකාරකම් රැසක් මෙහිදී සිදු කෙරිණි. විශේෂ බළකා පුහුණු පහසුකම් නිරීක්ෂණය කිරීම, සටන් පුහුණු උපකරණ භාවිතය සහ විවිධ මෙහෙයුම් අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රායෝගික පුහුණුවීම්ද ඊට ඇතුළත් විය.
අභ්‍යාසයේ අවසන් ප්‍රායෝගික අදියර වන ‘Assault on Fortified Village’ නිදර්ශනය නොවැම්බර් 25 වැනිදා මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට එක් වූ අතර, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ සහකාර ආරක්ෂක උපදේශක ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක්ද සහභාගි වූහ.
‘මිත්‍ර ශක්ති – XII’ අභ්‍යාසය හරහා දෙරටේ හමුදා අතර ඒකාබද්ධ මෙහෙයුම් හැකියාව, වෘත්තීය දැනුම හා අත්දැකීම් හුවමාරුව සහ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ශක්තිමත් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය. දෙරටේ දිගුකාලීන හමුදා මිත්‍රත්වය මෙන්ම කලාපීය සාමය හා ආරක්ෂාව වෙනුවෙන් වන කැපවීමද මෙමඟින් යළිත් තහවුරු වූ බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.





