මහල් නිවාස සංකීර්ණවල අලුත්වැඩියා සහ පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන Metro Uplift ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස මිහිඳුසෙන්පුර සහ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණවල නවීකරණ කටයුතු අද ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගොඩනැගිලි 72කින් සමන්විත නිවාස සංකීර්ණ 24ක ජනතාව දහස් ගණනක් ජීවත් වන අතර, වසර ගණනාවක් තිස්සේ ඒවායේ ප්‍රධාන ගැටලු රැසක් පවතින බවයි.

එම නිවාස සංකීර්ණ ක්‍රමානුකූලව නවීකරණය කිරීම සඳහා රුපියල් බිලියන 1.5ක් වෙන් කර ඇති බවත්, නිවාසලාභීන්ගේ කමිටු හරහා සැබෑ පදිංචිකරුවන්ගේ සහභාගීත්වයෙන් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරි වසරක් ඇතුළත මෙම මහල් නිවාස සංකීර්ණවල ජනතාවට දැනෙන සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.