මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් මහතා සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවී සාකච්ඡාවක නිරත විය.

එහිදී ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළ තුළ තනි රටක් ලෙස විශාලතම දායකත්වයක් ලබාදෙන ඇමරිකාව සමඟ පවතින වෙළෙඳ සහයෝගීතාව දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළෙඳ ගිවිසුමට අදාළ කටයුතු හැකි ඉක්මනින් අවසන් කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර තිබේ.

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය තිරසර සාමයක් කරා යොමු වනු ඇතැයි විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව අනුගමනය කරන මානුෂීය ප්‍රතිපත්තිය සිහිපත් කරමින් කලාපයේ සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් උපරිම සහාය ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බව ද අවධාරණය කළේය.