රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ කියෙව් කලාපයේ මහල් නිවාස ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කියෙව් නගරයට කිලෝමීටර් 45ක් පමණ උතුරින් පිහිටි ඩයිමර් ප්‍රදේශයේ මහල් පහක ගොඩනැගිල්ලකට මෙලෙස හානි සිදු වී තිබේ.

මිය ගිය පිරිස අතර තරුණයකු සහ වයස අවුරුදු 40ක පමණ කාන්තාවක සිටින බව යුක්‍රේනයේ රාජ්‍ය හදිසි සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉරිදා සවස සුන්බුන් අතර සිරව සිටි දරුවකු ජීවතුන් අතර සිටියදීම බේරා ගැනීමට සහන සේවකයන්ට හැකි වී ඇත. එහෙත් දරුවන් දෙදෙනකු ඇතුළු තවත් පුද්ගලයන් 11 දෙනකු පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව එම දෙපාර්තමේන්තුව පවසා තිබේ.

යුක්‍රේනය තවත් ශීත ඍතුවකට මුහුණ දීමට සූදානම් වන පසුබිමක රුසියාව අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ. මෙම ප්‍රහාරය රුසියාව යුක්‍රේනයට එරෙහිව ගෙන යන ජන සංහාරක යුද්ධයේ කොටසක් ලෙස හඳුන්වා දුන් යුක්‍රේනයේ මානව හිමිකම් පිළිබඳ ඔම්බුඩ්ස්මන් දිමිත්‍රෝ ලුබිනෙට්ස්, සිවිල් වැසියන් ඝාතනය කිරීම නතර කිරීමටත් රුසියාව වගකීමට බැඳ තැබීමටත් ලෝක ප්‍රජාව මැදිහත් විය යුතු බව සඳහන් කළේය.

මේ අතර විෂ්නෙව් ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් අට දෙනකු තුවාල ලබා ඇත. බිලා ට්සර්ක්වා ප්‍රදේශයේ පෞද්ගලික නිවසකට එල්ල වූ ප්‍රහාරයකින් එක් අයකු මිය ගොස් එම නිවස ගිනිගෙන තිබේ.

ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ විදුලි උපපොළකටද ප්‍රහාර එල්ල වූ බව සඳහන් කර ඇත.