හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ එක්සත් රාජධානියේ සංචාරයකට අදාළ රාජ්ය මුදල් අවභාවිතය පිළිබඳ නඩුව දෙසැම්බර් 9 වැනිදා යළි කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේ වික්රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ. ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා කොළඹ කොටුව වැඩබලන මහේස්ත්රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා නඩුව කල් තැබීය.
2023 වසරේදී වික්රමසිංහ මහතා සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියට ගිය සංචාරය වෙනුවෙන් රුපියල් මිලියන 16.6කට අධික රාජ්ය මුදලක් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණ අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනත යටතේය.
