යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අමතරව විශ්වවිද්‍යාල පරිපාලනය ද අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම විශ්වවිද්‍යාලය පවසයි.
පොලිසිය සිදු කරන විමර්ශනවලට සමගාමීව විශ්වවිද්‍යාල පරිපාලනය මඟින්ද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිරුනාවුක්කරසු වේල්නම්පි මහතා සඳහන් කළේය.
පසුගිය 19 වැනිදා රාත්‍රී කාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි සහ තෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබුණි. සිසුන් නවාතැන් ගෙන සිටි පෞද්ගලික නේවාසිකාගාරයක් තුළ සිදු වූ මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ඊට සම්බන්ධ බව කියන සිසුන් 21 දෙනකු අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අනතුරුව ඔවුන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
ගැටුමට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කර ඇත. මෙම ගැටුම විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිදු වූවක් වුවද පොලිසිය සිදු කරන සියලු විමර්ශන කටයුතුවලට විශ්වවිද්‍යාල පරිපාලනයේ සහය ලබා දෙන බව උපකුලපතිවරයා පැවසීය.
ගැටුම ඇති වීමට හේතු වූ කරුණු සොයා බලා, ඉදිරියේදී මෙවැනි ගැටුම් ඇති වීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවද උපකුලපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

