නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන මාර්ගවල අවදානම් සහිත වංගුවල සහ අධික බෑවුම් සහිත ස්ථානවල ආරක්ෂිත යකඩ වැටක් ඉදිකිරීමේ කටයුතු නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මඟින් ආරම්භ කර තිබේ.
ජාත්‍යන්තර ප්‍රමිතියට සහ තාක්ෂණයට අනුකූලව ඉදි කෙරෙන මෙම ආරක්ෂිත වැට හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට තලවකැලේ දක්වාත්, තලවකැලේ-පුඩළුඔය මාර්ගයේත්, ගිනිගත්හේන දියගල හරහා ශ්‍රී පාද මාර්ගයේත් ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම වසර අවසන් වීමට පෙර කිලෝමීටර් 10.5ක දුරකට ආරක්ෂිත යකඩ වැට ඉදිකර අවසන් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීආරච්චි මහතා පැවසීය.
එම මාර්ගවල පසුගිය කාලය තුළ සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවත්, 2026–2027 ශ්‍රී පාද වන්දනා වාරයට පෙර ඉදිකිරීම් කඩිනම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
රාත්‍රී කාලයේ වාහන ධාවනයේදී රියදුරන්ට එම ආරක්ෂිත වැට පැහැදිලිව දිස්වන ආකාරයෙන් ආලෝකය විහිදුවන සංඥාවක්ද එම වැට තුළින් නිකුත් කරන බව මංජුල සුරවීආරච්චි මහතා වැඩිදුරටත් කීය.





