බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ නායකයන්ට සහ ක්‍රියාකාරීන්ට අයත් නිවාස සහ වෙළෙඳසැල් රැසකට පහර දී ගිනි තබා ඇති බව The Daily Star සහ Hindustan Times වාර්තා කරයි.
නරයිල් දිස්ත්‍රික්කයේ බෙන්ඩාර් චාර් ගම්මානයේ සිදු වූ මෙම ප්‍රහාරවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සහ හිටපු නගරාධිපතිවරයකුට අයත් දේපළවලටද හානි සිදු වී තිබේ. මාර්ග හරහා ගස් කපා දමා අවහිර කර තිබීම හේතුවෙන් ගිනි නිවන භටයන්ට එම ප්‍රදේශයට ළඟා වීමට පැය හතරක පමණ කාලයක් ගත වූ බව සඳහන් වේ.
ගින්නෙන් හානි වූ නිවාස සංඛ්‍යාව පිළිබඳව පරස්පර තොරතුරු වාර්තා වන අතර, නිවාස 50කට අධික සංඛ්‍යාවකට හානි සිදු වී ඇති බව ගිනි නිවීමේ සේවා අංශ පවසයි. එහෙත් හානියට පත් නිවාස ගණන 15ත් 20ත් අතර වන බව ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන් සඳහන් කර ඇත.
පසුගිය නොවැම්බර් 18 වැනිදා යතුරුපැදි පෙළපාලියකට එල්ල වූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට (BNP) අනුබද්ධ ෂහීන් මොල්ලා සහ සොහෙල් මොල්ලා යන නායකයන් දෙදෙනාගේ මරණවලට ප්‍රතිචාර ලෙස මෙම ගිනි තැබීම් සිදු කර ඇති බව පොලිසිය පවසයි. එම ප්‍රහාරය සිදු වී දින දෙකකට පසු මෙම සිදුවීම වාර්තා වී තිබේ.
ගිනි තැබීම් සම්බන්ධයෙන් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට සම්බන්ධ පුද්ගලයන්ට ප්‍රදේශවාසීන් චෝදනා කළද, එම පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.



