මලෛයගම් ජනතාව මුහුණ දෙන නොවිසඳුණු ගැටලු විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා ප්‍රකාශ කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය සහ වතුකරයේ ජනතා හඬ සංවිධානය ඒකාබද්ධව ‘සාමය සහ ජාතික සමගිය උදෙසා එකම ප්‍රජාවක්, එකම හඬක්’ තේමාව යටතේ ගාල්ල කළුවැල්ල සෙඩ්ගෝල් ශාලාවේදී සංවිධානය කළ සාම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.
දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම, ඉඩකඩම් සඳහා නීත්‍යානුකූල ඔප්පු ලබා ගැනීම සහ බැංකු කටයුතුවලදී මතු වන ගැටලු ඇතුළු ප්‍රශ්න රැසක් වතුකරයේ ජනතාවට පවතින බව ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. එම ගැටලු හඳුනාගෙන විසඳුම් ලබා දීම සඳහා ඉදිරියේදී ඒකාබද්ධතා මහලේකම් කාර්යාලය, දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් සහ වතුකරයේ ජනතා හඬ සංවිධානයේ නියෝජිතයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.
රට තුළ පැවති දූෂණය, වංචාව සහ ජාතික සමගිය පළුදු වීම ආර්ථිකයට හා සංවර්ධනයට විශාල බාධාවක් වූ බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා, පසුගිය කාලයේ ඇති වූ ගැටුම් නිසා ජාත්‍යන්තරයේ රටට ඇති වූ අපකීර්තිය අද වන විට විසඳාගෙන සාමකාමී රටක් ලෙස ඉදිරියට යන බව කියා සිටියේය. සංහිඳියාව ඇති කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් දකුණු ආසියාවේ සාමකාමී රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයක සිටින බව ජාත්‍යන්තරය පිළිගන්නා බවද ඔහු සඳහන් කළේය.
සියලු ජාතීන් හා ආගම් අතර සහයෝගීතාව ගොඩනඟමින් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස කටයුතු කිරීමෙන් ආර්ථික හා සමාජීය ගැටලු විසඳා ගත හැකි බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල්, ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වූ කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ටී.පී.එස්. කුමාර, වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධායක අධ්යක්ෂ ඇන්තනී ජේසුදාසන් ඇතුළු නිලධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.



