දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 10 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නොවැම්බර් 23 වැනිදා දින නියම කළේය.

මෙම නඩුව නොවැම්බර් 23 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවේ කැඳවනු ලැබූ අතර, විත්තිකරුවන් දෙදෙනාම විවෘත අධිකරණයේ පෙනී සිටියහ. එහිදී පළමු සාක්ෂිකරු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන් අතර, එම සාක්ෂිකරුටත් දෙවැනි සාක්ෂිකරුටත් ඉදිරි නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා අවවාද කළේය.

එසේම විත්තිකාර පාර්ශ්වයට අවශ්‍ය සියලු ලේඛන ලබා දීමට කටයුතු කරන ලෙසද විනිසුරුවරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කර තිබේ.

2006 වසරේදී සහ 2006 සැප්තැම්බර් 01 සිට 2007 ජූනි 08 දක්වා කාලය තුළ නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ (Royal Naval Training College) පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම මඟින් ‘දූෂණය’ නමැති වරද සිදු කර රජයට පාඩුවක් කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇත.