මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී විෂය මාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනයේ channelnie.nie.ac.lk වෙබ් පිටුව තුළ එළි දැක්වීමද සිදු කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මුල් ළමාවිය අධ්‍යාපනයේ විෂමතා සැලකිල්ලට ගෙන, ලංකාව තුළ විසිරී පවතින විවිධ මට්ටමේ මුල් ළමා විය අධ්‍යාපන මධ්‍යස්ථානවල එකම ආකාරයේ විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සහ ගෝලීය න්‍යාය පත්‍ර සඳහා මෙන්ම ශ්‍රී ලාංකික දරුවාගේ මුල් ළමාවිය යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම අධ්‍යාපන විෂයමාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කොට ඇත.

යෝජිත මෙම පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, යුනිසෙෆ් ආයතනයේ මූල්‍යමය හා තාක්ෂණික දායකත්වයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඉදිරි සතියේ දී පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.