කුරහන් මිහිර ප්‍රදර්ශනය සහ ලියැද්දෙන් පිම්මක් වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ලුණුගම්වෙහෙරදී ඇරඹෙයි.
කුරහන් මිහිර ප්‍රදර්ශනය සහ ලියැද්දෙන් පිම්මක් වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) දින ලුණුගම්වෙහෙර බහුකාර්ය ගොඩනැඟිලි පරිශ්‍රයේදී ආරම්භ විය.
මෙම වැඩසටහනේ අරමුණ රට තුළ දේශීය කුරක්කන් නිෂ්පාදනය සහ භාවිතය ප්‍රචලිත කිරීමයි. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිය දායකත්වය ලබාදෙයි. කුරහන් මිහිර ප්‍රදර්ශනය ඊයේ දිනයේ මෙන්ම අද දිනය පුරාද පැවැත්වෙන අතර එය කුරක්කන් ආශ්රිත ආහාරපාන, අගය එකතු කළ නිෂ්පාදන, කුරක්කන් වගාව පිළිබඳ නව තාක්ෂණික දැනුම, විද්වත් දේශන, ව්‍යවසායකත්ව මඟ පෙන්වීම්, වීදී නාට්‍ය හා නර්තනාංග ආදී අංග රැසකින් සමන්විතය.
කුරහන් මිහිර ප්‍රදර්ශනයට අමතරව ලුණුගම්වෙහෙර සීනීමුල්ල වෙල් යායේදී ‘ලියැද්දෙන් පිම්මක්’ කුරක්කන් වගා කිරීමේ ජාතික මෙහෙයුම ද අද දින ආරම්භ විය. මෙම වැඩසටහන මඟින් කුඹුරු ඉඩම් සඳහා අමතර බෝග වගාවක් ලෙස කුරක්කන් වගාව හඳුන්වා දීම සිදු කෙරේ. මෙම ක්‍රියාන්විතයේ ප්‍රධාන පරමාර්ථය රටේ කුරක්කන් නිෂ්පාදනය ඉහළ නංවා පාරිභෝගිකයාට සාධාරණ මිලට එය ලබාදෙමින් නිරෝගී ජනතාවක් බිහිකිරීමයි. එමෙන්ම දේශීය කුරක්කන් වගාවට ජනතාව යොමු කිරීම, වී වගාවට අමතරව වැඩි ආදායමක් ලබා ගැනීම, දේශීය ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම මෙම වැඩසටහනේ සෙසු අරමුණුය.
ලියැද්දෙන් පිම්මක් වැඩසටහන යටතේ කුඹුරු ඉඩමක අක්කරයකින් අටෙන් එකක එනම් පර්චස් 20ක පමණ කුරක්කන් වගා කිරීමට වගාකරුවන් දිරිමත් කරනු ලබයි. ඒ සඳහා එක් වගාකරුවෙකුට රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. වැඩසටහනෙහි පළමු අදියර හම්බන්තොටෙන් ආරම්භ වන අතර ඉදිරියේදී එය අනුරාධපුර, මොනරාගල, අම්පාර, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවීමට නියමිතය.
මෙම වැඩසටහනට සහභාගී වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අදහස් පළ කළේය.
“රටක ප්‍රතිපත්ති තීරණ ගන්නේ ආණ්ඩුව. දැනට අවුරුදු දෙකක් ගත වෙච්ච ආණ්ඩුව කෘෂිකර්ම ක්ෂේත්රය සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රතිපත්තිමය තීරණ අරගෙන තියෙනවා. ඒ ප්‍රතිපත්තිමය තීරණ වෙනුවෙන් මුදල් වෙන් කරන්නේ ආණ්ඩුවමයි. හැබැයි ඒ ප්‍රතිපත්ති ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා සාර්ථකව ඉදිරියට ගෙනියන්න වැඩි බරක් ගන්නේ රජය. ආණ්ඩුවයි, රජයයි, ජනතාවයි හරියට අවබෝධයෙන් එකට සම්බන්ධ වෙලා කටයුතු කළොත් පමණයි අපිට අවසාන බලාපොරොත්තු වුණු අරමුණ කරා යන්න පුළුවන් වෙන්නේ. මේ දම්වැලේ එක තැනක් හරි දුර්වල වුණොත් අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න අමාරුයි.
අපි බලයට ආපු ගමන් වී වගාවේ පොහොර සහනාධාරය වැඩි කළා. ඒ වගේම අතිරේක බෝග සඳහාත් පොහොර සහනාධාරය දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. මේ මාස් කන්නයේදී ප්‍රථම වතාවට අතිරේක බෝගවලටත් හෙක්ටයාර් එකකට රුපියල් තිස් දාහක් ලැබෙනවා. මේ සහනාධාරය ලැබෙන්නේ අතිරේක බෝග කුඹුරු ඉඩම්වල වගා කළොත් පමණයි. රතුලූණු, ලොකු ලූනු, අර්තාපල්, මිරිස්, මුං ඇට, උඳු, කවුපි, කුරක්කන්, බඩ ඉරිඟු, තල, සෝයා බෝංචි, රටකජු කියන අතිරේක බෝගවලට තමයි මේ සහනාධාරය ලැබෙන්නේ.
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න අපේ ආයතන වගා සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ වගා සැලැස්ම අනුව අපිට එල්නිනෝ තත්ත්වයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා.
අපේ අමාත්‍යාංශයේ වගකීම තමයි ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම. ඊළඟට ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණුකිරීම. මේ කාරණා දෙක වෙනුවෙන් තමයි අපි හැමෝම කැප වෙන්නේ. සහලින් ස්වයංපෝෂිත වුණාට අනෙකුත් අතිරේක බෝගවලින් අපි සුරක්ෂිත නැහැ. බොහෝ ප්‍රමාණයක් ආනයනය කරනවා. අතිරේක බෝග සඳහා අපට යන නිෂ්පාදන පිරිවැය වැඩියි. අපි එය අඩු කරගත යුතුයි.
අපේ රටට බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යයි. ඒකෙන් දෙකෙන් පංගුවයි අපි වගා කරන්නේ. අපි පසුගිය දිනවල තීරණයක් ගත්තා පිටරටින් බඩඉරිඟු ගේන එක නවත්තන්න. ඒකේ අරමුණ තමයි දේශීය බඩඉරිඟු ගොවියා දිරිගැන්වීම.
අපේ බලාපොරොත්තුව වී වගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය වැඩි කිරීම නෙවෙයි. ඒ වෙනුවට අස්වැන්න ඉහළ නැංවීම. ඒ සඳහා යාය වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එතනදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන වගා පැකේජය අනුව ගොවීන් කටයුතු කළ යුතුයි. ඒ වගේම තෝරාගත් යාය 11 ක් සඳහා තුන්වෙනි පරම්පරාවේ හතරවෙනි පරම්පරාවේ පොහොර භාවිත කරනවා.
අද මේ ආරම්භ කරන වැඩසටහනේ දී කුඹුරු අක්කරයෙන් පර්චස් විස්සක් කුරක්කන් වගා කරන්න පටන් ගන්නවා. මෙතනදි කුරක්කන් වගාවට ජලය අවශ්‍ය වන්නේ වී වගාව වගේ තුනෙන් එකක් පමණයි. ඒ වගේම වී වගාවට වඩා තුන් ගුණයක් ලැබෙන ආර්ථික ලාභය වැඩියි. කුරක්කන් ජනතාව අතරට ගෙන යන්න නම් ඒ ආශ්රිත ආහාර ප්‍රචලිත කළ යුතුයි. දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් වගේ රෝගවලට හොඳ උත්තරයක් තමයි කුරක්කන්. මේ වැඩසටහන හරහා අපි උත්සාහ කරමු කුරක්කන් ආනයනය සීමා කරන්න.”
මෙම අවස්ථාවට ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා ද සහභාගී විය.
මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය





