භාෂාමය උරුමයන් සුරක්ෂිත කිරීම සංස්කෘතික වගකීමක් පමණක් නොව, එය ලෝකයේ පවතින විවිධත්වය රැකගැනීම සඳහා වූ පොදු කැපවීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ ඊයේ (13) පැවැති ‘ජාත්‍යන්තර මව් භාෂා දින’ සැමරුම් උළෙලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කරන ලදී.
මෙම උළෙල බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බාලදක්ෂ සංගම්වල සහයෝගයෙන් සංවිධානය කර තිබූ අතර “විවිධ හඬවල්, පොදු මනුෂ්‍යත්වය” යන්න මෙවර තේමාව විය.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරන ලද්දේ ජාත්‍යන්තර මව් භාෂා දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා බංග්ලාදේශය ගත් මූලිකත්වය අගය කරන බවත් එය ජාතික සැමරුමක සිට ගෝලීය ව්‍යාපාරයක් දක්වා පරිවර්තනය වී ඇති බවත්ය.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ වර්තමාන ඩිජිටල් ලෝකය තුළ බොහෝ භාෂා අභාවයට යාමේ අවදානමක් පවතින අතර තාක්ෂණය සහ ප්‍රතිපත්ති හරහා එම භාෂා සුරැකීමට කටයුතු කළ යුතු බවයි.
එසේම මෙවැනි වැඩසටහන් හරහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවද එතුමිය ප්‍රකාශ කරන ලදී.





