දිවයිනට බලපෑ ආපදා හේතුවෙන් දෙසැම්බර් 16 දක්වා කල් දැමුණු, පාසල්වල තෙවැනි වාරයේ දෙවන අදියර අද (16) සිට ආරම්භ වනවා.

ඒ අනුව, බස්නාහිර, දකුණ, උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල සියලු පාසල් අද දිනයේ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සඳහන් කර සිටිනවා.

කෙසේ නමුත් ඌව, මධ්‍යම සහ වයඹ යන පළාත් තුනට අයත් පාසල් 640 ක් අද දිනයේ විවෘත නොකරන බව සහ ඒවායේ පවතින මාර්ග දුෂ්කරතා ඇතුළු අනෙකුත් ගැටලු මඟ හරවා ගැනීමෙන් අනතුරුව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

අද ආරම්භ වන පාසල් තෙවැනි වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 22 දක්වා පැවැත්වෙන අතර, දෙසැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 28 දක්වා නත්තල් නිවාඩු සමය ක්‍රියාත්මක වේ.

තෙවැනි වාරයේ තෙවැනි අදියර සඳහා නැවත පාසල් දෙසැම්බර් 29 වැනිදා ආරම්භ කරන අතර, දෙසැම්බර් 31 වැනිදා දක්වා පාසල් පවත්වා තෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු අවසන් කිරීමට නියමිතය.

මුස්ලිම් පාසල්වල දරුවන් සඳහා අද ඇරඹෙන පාසල් වාරය ජනවාරි 02 වැනි දින දක්වා අඛණ්ඩව පැවැත්වෙන අතර, එම දරුවන්ට දෙසැම්බර් 27 වැනි සෙනසුරාදා ද පාසල් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

2026 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා වන අධ්‍යයන කටයුතු ජනවාරි 22 ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වෙත උපදෙස් ලබා දී ඇත.