කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර නිපුණතා සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීමක් මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය යළි ප්‍රතික්ෂේප කළාය.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා දෙසැම්බර් මස 9 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. එදිනට පැමිණිල්ල මෙහෙයවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කරන ලදී.
කාවන්තිස්ස හස්තියාගේ වෙළෙඳපොළ වටිනාකම පිළිබඳව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මඟින් විධිමත් තක්සේරු වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළාය. එමෙන්ම හස්තියාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී නිලධාරීන්ට නියෝග කෙරිණි.
මේ අතර කාවන්තිස්ස හස්තියා මිය යෑමේ සිද්ධියට අදාළ නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේත්, වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව මහව මහේස්ත්‍රාත් අධිකරණයේත් පැවතීම නෛතික ගැටලුවක් බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. ඒ අනුව නඩු දෙකම එකම මහේස්ත්‍රාත් අධිකරණයක් තුළ පවත්වාගෙන යෑමට අවශ්‍ය නීති උපදෙස් නීතිපතිවරයාගෙන් ලබා ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළාය.





