අද (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය පැවැත්විණි.

මෙහිදී 2022 සිට පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ නිලධාරීන් සහ මහජන නියෝජිතයන්ට සහතිකපත්‍ර සහ ඩිප්ලෝමා ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා, රජය අභියෝග රැසක් මැද දූෂිත ක්‍රම වෙනස් කර නිවැරදි ක්‍රම පිහිටුවීමට කටයුතු කරන බව අවධාරණය කළේය.
එසේම ප්‍රධාන දේශනය කළ කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය තරිඳු ධනංජය වීරසිංහ මහතා දූෂණය අවම කිරීමේ ප්‍රගතිය පිළිබඳව විශේෂයෙන් අවධාරණය කළේය.

1999 අංක 31 පනත යටතේ ස්ථාපිත මෙම ආයතනය, ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා පුහුණු සපයන එකම ජාතික ආයතනය වන අතර, ඩිප්ලෝමා පාඨමාලා, සහතිකපත්‍ර පාඨමාලා සහ කෙටිකාලීන පුහුණු වැඩසටහන් සංවිධානය කරමින් පවතියි.
අද උත්සවයේදී 200කට ආසන්න සංඛ්‍යාවක් සාර්ථකව පාඨමාලා අවසන් කර සහතිකපත්‍ර ලබාගන්නා ලදී.