අද (06) දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ Little Roots ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙරපාසල විවෘත කරන ලදී.
මෙම ව්‍යාපෘතිය, සමස්ත චීන කාන්තා සම්මේලනය මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කාන්තා සංසදයට කරන ලද ප්‍රදානයක් ලෙස, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කළ එකමුතු වැඩසටහනක් ලෙස ඉදිරිපත් විය.
විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ඇමතිනි සරෝජා පෝල් රාජ් මහත්මිය ප්‍රධානත්වය දුන්හ.
අමාත්‍ය ලාල්කාන්ත මහතා අවධාරණය කළේ, ගෘහස්ථ කාර්යයන් සමාජමය සේවාවන් ලෙස ගෙවල් ඇතුළෙන් එළියට ගෙන ඒම කාන්තා විමුක්තිය සඳහා අත්‍යවශ්‍ය බවයි.
ඔහු සඳහන් කළේ, ආහාර පිසීම, ඇඳුම් සකස් කිරීම සහ දරුවන් රැකබලා ගැනීම යන කාර්යයන් ගෙවල් ඇතුළේ පවතින “ෆැක්ටරි” ලෙස ලෙනින් විසින් විස්තර කර ඇති අතර, ඒවා සමාජමය වශයෙන් සංවිධානය කිරීමෙන් කාන්තා සහ ළමා අයිතිවාසිකම් සහ සමාජ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා ගත හැකි බවයි.





