සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇත. අදාළ ඩ්‍රෝන යානා පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ ඇගයීමක්ද සිදුකිරීමට නියමිතය.

මන්ත්‍රීවරයා සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා සමඟ මයික්‍රෆෝන 16ක්ද රේගු භාරයට ගෙන තිබිණි. අවශ්‍ය ආනයන බලපත්‍ර සහ අදාළ ආයතනවල අනුමැති ඉදිරිපත් කර නොතිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසීය.

මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීම වී ඇත්තේ ඩ්‍රෝන යානා තම පුත්‍රයාගේ සමාගමක් වෙනුවෙන් ගෙන්වූ බවයි. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැති ලිපියේ කාලය අවසන් වී තිබුණද, අනෙකුත් ලේඛන නිසි පරිදි තිබූ බව ඔහු සඳහන් කර ඇත.

අදාළ උපකරණ සම්බන්ධයෙන් රේගු සහ අපරාධ විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයමින් පවතී.