නුවරඑළිය දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් මහාමාර්ග හා යටිතල පහසුකම් නැවත තිරසාරව සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (25) දින ප්‍රවාහන,මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ ගැරඩිඇල්ල හිදී නිල වශයෙන් ආරම්භ විය.

මෙම වැඩසටහන “Rebuilding Sri Lanka” ජාතික වැඩසටහනට සමාන්තරව ක්‍රියාත්මක වන අතර, මාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ දුම්රිය පාලම් ඇතුළු මහජන යටිතල පහසුකම් නවීනව හා ආරක්ෂිතව ගොඩනගන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන ලදී.

එසේම රුපියල් බිලියන 180 ක වියදමින් දිට්වා හානි වූ මාර්ග 40 ක් සංවර්ධනය කිරීමට රජය සූදානම් බවද එහිදී ප්‍රකාශ විය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, දිට්වා ව්‍යසනයෙන් රටට දැවැන්ත භෞතික හා ආර්ථික හානි සිදු වූ බවත්, ජන ජීවිතය යළි ගොඩනගා ගැනීම සඳහා රජය තිරසාර හා විනිවිද සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත්ය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, ජනතාවට පහසුකම් සපිරි, ආරක්ෂිත ජීවිතයක් ලබාදීම රජයේ අරමුණ බවත් බාහිර හා අභ්‍යන්තර අභියෝගයන් අතරින් රටේ සම්පත් නිවැරදි කළමනාකරණයෙන් ජනතා අවශ්‍යතා සපුරාලන ඵලදායි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත්ය.