ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් තී ටැම් මැතිනිය හා උප තානාපති ලී වැන් හොන්ග් මහතා අතර හමුවක් පසුගිය (26) පැලවත්ත ජවි ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
පසුගියදා වියට්නාම් ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මැතිතුමාගේ සංචාරය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාරය සම්බන්ධයෙන් ටෝ ලාම් මැතිතුමා ඉහළ ප්‍රසාදයක් පළ කළ බවත් එම සංචාරයෙන් පසු ශ්‍රී ලංකාව සමග වියට්නාමයේ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා විස්තීර්ණ හවුල්කාරීත්ව මට්ටමට වර්ධනය කරගැනීමට හැකි වූ බවත් තානාපතිතුමිය විසින් ප්‍රකාශ කරන ලදී.
එසේම ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා සිදුකරන කටයුතු, ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම, විද්‍ය හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාවයේ ප්‍රගතිය යන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන ලදී.
තවද වියට්නාම ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මැතිතුමා විසින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා වෙත එවන ලද සිහිවටනය පිළිගැන්වීමද මෙම අවස්ථාවේ තානාපතිතුමිය විසින් සිදුකරන ලදී.





