‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රදේශයේ පිහිටි ඌමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු අද (27) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාව ඌමා ඇළ පේරවැල්ල අමුණ අසලදී පැවැත්විණි.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ස්ථාන කිහිපයකින් බිඳී විනාශයට පත්ව තිබූ මෙම ව්‍යාපෘතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ගොවි ජනතාවගේ හා හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව ඉතා කෙටි කාලයක් තුළ තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර තිබුණි.

එම තාවකාලික ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, 2025 දෙසැම්බර් මස 12 වනදා සිට නැවත දියවර නිකුත් කිරීමට ද පියවර ගෙන තිබූ අතර, ගොවීන්ගේ ඉදිරි ගොවිතැන් කටයුතු අඩාල නොවන ලෙස මහා ශ්‍රම මෙහෙයුමක් මඟින් එම කටයුතු ක්‍රියාත්මක කරන ලදි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 228.6 ක පිරිවැයකින් ඌමා ඇළ මහා වාරි ව්‍යාපෘතිය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද දින ආරම්භ කර ඇති අතර, එමඟින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා දිගුකාලීන සහන සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.