ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම සතු සම්පත් උපයෝගී කරගනිමින් තරුණ පරපුරට වෘත්තීය පුහුණුව ලබාදී ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට යොමු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කරන ලදි.

ඔහු සඳහන් කරන ලද්දේ, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සමඟ එක්ව වසර හතරක පාඨමාලාවක් ඇතුළුව විවිධ තාක්ෂණික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

වෙල්ඩින්, විදුලි, උපකරණ තාක්ෂණය, මෝටර් රථ සහ යන්ත්‍රෝපකරණ ඇතුළු ක්ෂේත්‍ර රැසක පුහුණුව ලබාදීමට නියමිත අතර, පුහුණුව සාර්ථකව අවසන් කරන පිරිස් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබාදීමටද කටයුතු කරන බවත්,
දැනට සේවයේ නිරත සුදුසුකම් නොමැති සේවකයන්ටද NVQ සහතික ලබාදීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරියේදී ආයතනවල උසස්වීම් සඳහා NVQ සුදුසුකම අත්‍යවශ්‍ය කිරීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන් හොඳින් පුහුණු වූ වෙල්ඩින් ශිල්පීන්ට විදේශ රැකියා සඳහා ඉහළ වැටුප් සහිත අවස්ථා පවතින බැවින්, මෙම වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසද ඔහු තරුණයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>