ආයතනික රැකවරණයෙන් වයස අවුරුදු 18 සම්පූර්ණ වී සමාජගත වන දරුවන්ට ස්ථිර නිවාසයක් ලබාගැනීම සඳහා මූල්‍ය ආධාර ලබාදීමේ වැඩසටහනක් රජය විසින් හඳුන්වා දීමට සූදානම් කර තිබේ.

අද (15) දින පැවති රජයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කරන ලද්දේ ‘දිවියට සවියක්’ නිවාස සහාය වැඩසටහන යටතේ මෙම ආධාර ලබාදෙන බවය.

ආයතනික රැකවරණයෙන් ඉවත්ව සමාජගත වන දරුවන්ට ස්ථිර වාසස්ථානයක් නොමැතිවීම හේතුවෙන් ඔවුන් යළි අවදානම් සහගත සමාජ කණ්ඩායම් වෙත යොමුවීම වැළැක්වීම මෙහි අරමුණ බවද අමාත්‍යවරිය ප්‍රකාශ කරන ලදී.
2026 අයවැය යෝජනා අනුව වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, සුදුසුකම් ලබන ප්‍රතිලාභියෙකුට උපරිම රුපියල් මිලියන 2ක මුදලක් ලබාදීමට නියමිත අතර, එම මුදලින් ඉඩමක් මිලදී ගැනීම, නිවසක් ඉදිකිරීම, පවතින නිවසක් අලුත්වැඩියා කිරීම හෝ නිවසක් මිලදී ගැනීම සිදුකළ හැකි බව අමාත්‍යවරිය සඳහන් කළාය.

දැඩි අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන කාන්තා මූලික පවුල්වල දරුවන් සඳහාද මෙම ආධාර ලබාදීමට සැලසුම් කර තිබෙන වග ඇය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>