පෙර ලබාගත් කෘෂිකාර්මික ණය නියමිත පරිදි ආපසු ගෙවූ සියලු ගොවීන්ට නැවතත් ණය ලබාදෙන බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, එම ණය ලබාගන්නා ගොවීන් රජය නියම කරන සහතික මිලට අනුව වී අලෙවි කළ යුතු අතර, ණය ආපසු ගෙවීමද ඔවුන්ගේ වගකීමක් වන බවයි. ණය ආපසු නොගෙවන පුද්ගලයන්ට බැංකු මගින් නැවත ණය ලබාදීම දුෂ්කර වන බවද ඔහු පැවසීය.
වී සඳහා රුපියල් 120ත් 140ත් අතර මිලක් ඉල්ලා ගොවීන්ගෙන් විවිධ අදහස් පළවන බව සඳහන් කළ අමාත්‍යවරයා, අතීතයේ පොහොර මිල ඉහළ ගිය අවස්ථාවේ වී කිලෝවකට රුපියල් 150ක මිලක් ඉල්ලා සිටීම සාධාරණ වූ බවද කියා සිටියේය.
කෙසේවෙතත්, මේ වනවිට පොහොර සහනාධාරය වැඩි කර ඇති බැවින් නිෂ්පාදන පිරිවැය වෙනස් වී ඇති බව පෙන්වා දුන් ඔහු, වී සඳහා සහතික මිල තීරණය කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අදාළ රාජ්‍ය ආයතන එක්ව සිදුකරන විද්‍යාත්මක පිරිවැය ගණනය කිරීම් මත පදනම්ව බව අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ Youtube නාලිකාව හරහා නරඹන්න. >>>>>>>>>>>





