එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් සහතික කරන ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

සියලුම ආරක්‍ෂක අංශවල මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, මෙම යාන්ත්‍රණය හරහා උත්සව සමය පුරා මහජන ජීවිත සුරක්‍ෂිත කිරීමටත්, රජයේ සහ පෞද්ගලික දේපළ ආරක්‍ෂා කිරීමටත් බලධාරීන්ට වඩාත් හොඳින් අවස්ථාව සැලසෙන බව වැඩිදුරටත් සඳහන් වේ.