මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති එරික් මේයර් (Eric Meyer) මහතා අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී දෙරට අතර අනාගත සහයෝගීතාව සහ හවුල් ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් තානාපතිවරයා මෙම හමුව පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, අන්තර්ජාතික අපරාධ මැඩලීම සඳහා සිදු කළ සාර්ථක ඒකාබද්ධ ප්රයත්න මෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට සහාය වීම වෙනුවෙන් විශ්වාසදායක අමෙරිකානු තාක්ෂණය භාවිත කිරීමට ඇති අවස්ථා පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කළ බව තානාපති එරික් මේයර් මහතා සඳහන් කර තිබේ.
නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් තුළ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ආර්ථිකයන්ට දායක වන වෙළෙඳ මාර්ග ආරක්ෂා කිරීම සහ අමෙරිකානුවන්ට හා ශ්‍රී ලංකා ජාතිකයන්ට නව අවස්ථා උදාකර දීම වෙනුවෙන් දැනට අත්කරගෙන ඇති ප්‍රගතිය මත පදනම්ව ඉදිරියටත් කටයුතු කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී යළිත් ප්‍රතිඥා දුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.


