අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීමේ රජයේ වැඩසටහන “ජාතික නිවාස වැඩසටහන – 2026” යටතේ මොරටුව ප්‍රදේශයේ පවුල් 13කට රුපියල් ලක්ෂ 10ක් වටිනා නිවාස ඉදිකිරීම සඳහා මුල් ගෙවීමක් ලෙස රුපියල් ලක්ෂය බැගින් චෙක්පත් ප්‍රදානය ඊයේ (24) සිදු විය.
මෙම අවස්ථාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම ජාතික වැඩසටහන යටතේ රටපුරා දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් 13,347කට නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ තවත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අමාත්‍යවරයා අවස්ථාවේදී ප්‍රකාශ කරන ලද්දේ අවම කිරීම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් බවත්, එය පැල්පත් ඉවත් කිරීමක් නොව ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමක් බවත්ය. ජනතාවගෙන් එකතු කරන බදු මුදල් නැවතත් ජනතාවගේ සුභසාධනය සඳහා යොදවීම රජයේ වගකීමක් බවද ඔහු අවධාරණය කළේය.

පසුගිය වසරේ මෙවැනි වැඩසටහනක් යටතේ නිවාස 11ක් ඉදිකර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ බවත්, රජය ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී ප්‍රතිලාභීන් සමාජ සහයෝගය ලබාගෙන ඉදිකිරීම් සාර්ථක කරගත යුතු බවත් අමාත්‍යවරයා අවසන් වශයෙන් පැවසීය.