අස්වැසුම ප්‍රතිලාභී පවුල් සහ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය හරහා ලබාදෙන ණය පහසුකම් ඉදිරි වසරේදී රුපියල් බිලියන 70ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කරන ලදී.

මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා පැවති “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන අමතමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ පසුගිය වසරේදී සමෘද්ධි බැංකු පද්ධතිය හරහා රුපියල් බිලියන 60ක පමණ ණය ප්‍රමාණයක් ජනතාව වෙත ලබාදී ඇති බවය.

2029 වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීම රජයේ ඉලක්කයක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ජනතාව යැපුම් මානසිකත්වයෙන් මුදා ස්වාධීන හා ආර්ථික වශයෙන් ශක්තිමත් පුරවැසියන් බවට පත් කිරීම එහි අරමුණ බවද පැවසීය.

එසේම සමෘද්ධි බැංකු 1,097ක් සහ බැංකු සමිති 336ක් සතුව පවතින රුපියල් බිලියන 600කට ආසන්න මහජන වත්කම් ජනතාව සවිබලගැන්වීම සඳහා යොදාගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.