අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ ගිනිකඳු ආශ්‍රිත ක්‍රියාකාරීත්වය තවමත් පැවතිය හැකි බවට ඉඟි සපයන නව පර්යේෂණයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ExoMars Trace Gas Orbiter යානයේ දත්ත භාවිත කළ පර්යේෂකයන්ට ඇල්බා මොන්ස් ගිනිකන්ද ආශ්‍රිත ප්‍රදේශයෙන් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වායුවේ අසාමාන්‍ය වැඩිවීම් හඳුනාගැනීමට හැකි වී ඇත.

සාමාන්‍යයෙන් එම වායුව අඩුවන කාලයකදීත් එකම ස්ථානයෙන් නැවත නැවත හමුවීම විද්‍යාඥයන්ගේ අවධානයට ලක්ව තිබේ. මතුපිටට යටින් පවතින උණුසුම් මැග්මා පද්ධතියකින් වායු කාන්දුවීම ඊට හේතුවක් විය හැකි බව ඔවුහු යෝජනා කරති.

Science Advances සඟරාවේ නොවැම්බර් 4 වැනිදා පළ වූ අධ්‍යයනය නව ගිනිකඳු පිපිරීමක් හෝ ජීවීන් සොයාගැනීමක් තහවුරු නොකරයි. එහෙත් අඟහරුගේ භූගර්භ ක්‍රියාකාරීත්වය සහ ජීවයට හිතකර පරිසර පැවතිය හැකි ස්ථාන සෙවීමට මෙය වැදගත් ඉඟියක් බව පර්යේෂකයෝ සඳහන් කරති.