විදේශිකයන් මෙරටට පැමිණීමේදී එක් පුද්ගලයකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අයකළ ඩොලර් 50ක පැරැණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමට ඊයේ(06) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කෙරිණි.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එසේම ක්‍රියාත්මක වෙයි.

මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාල වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බවද රජය අවධාරණය කරයි.

සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වන විට රට තුළ ඇතිවී තිබෙන බැවින්, විදේශිකයකු මෙරටට පැමිණීමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශව රැසක් ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලා තිබිණි.

එමෙන්ම එය සංචාරක කර්මාන්තයේ ඉදිරි අභිවෘද්ධියට විශාල පිටිවහලක් වෙන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹිණි.