අද (24) දින පාර්ලිමේන්තු සැසිවාරයේදී තම අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිලක මහතා පවසා සිටියේ සෞඛ්‍ය සේවකයින්ට සහ වෛද්‍යවරුන්ට වැටුප් වැඩිවීම් ලබා දී තිබියදීත් මේ අවස්ථාවේ රෝගීන් අපහසුතාවයට පත් කරමින් ලබාදීමට අපහසු ආර්ථික ඉල්ලීම් සහ වැටුප් වැඩිවීම් ඉල්ලා සිටීම සාධාරණ නොවන බවයි.

තවදුරටත් අදහස් දක්වමින් එතුමා පැවසූයේ, විපක්ෂය මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් දරන්නේ කුමක් හේතුවෙන්ද යන්න තමා හොඳාකාරවම දන්නා වගයි.

වෛද්‍යවරුන්ගේ පෙර පැවති හා දැන් පවතින වැටුප සංඛ්‍යාත්මකව සඳහන් කරමින් තවදුරටත් පවසා සිටියේ ඉදිරියට ආර්ථිකය වර්ධනය වන විට ලබාදිය හැකි සහන සියල්ල තම රජයෙන් ලබා දෙන අතර මෙවැනි තත්ත්වයක් යටතේ තවදුරටත් වැටුප් වර්ධක ඉල්ලා සිටිමින් වැඩ වර්ජන පැවැත්වීම සාධාරණ නොවන බවත්ය.

එබැවින් තමන් සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රෝගීන් බිල්ලට තබාගෙන අසාධාරණ ඉල්ලීම් උදෙසා වර්ජන පැවැත්වීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශකරන ලදී.

අදාළ සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ Youtube නාලිකාව හරහා නැරඹිය හැකිය.