ග්‍රාමීය දිළිඳු බව තුරන් කර සමාජය සවිබල ගැන්වීමේ අභියෝගාත්මක මෙහෙයුමක් වන ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජා සංවර්ධන කමිටු සභාපතිවරුන් හා ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදි ඊයේ (11) දින පෙරවරුවේ පැවැත්විණි.

ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

වර්තමානය වන විට මුළු ජනග්‍රහනයෙන් පුද්ගලයින් හය දෙනෙකුගේ එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවත්, ඉන් වැඩි පිරිසක් ග්‍රාමිය හා වතු ආශ්‍රිත ජනතාව බවත් මෙහි දී අවධාරණය කෙරිණි.

එම අන්ත දරිද්‍රතාවය තුරන් කිරීම උදෙසා සක්‍රීයව දායක විම සඳහා සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම ප්‍රජා සංවර්ධන සභා (CDC) සභාපතිවරුන් හා ලේකම්වරුන් දැනුවත් කිරීම මෙහිදි සිදු කෙරිණි.

සමුළුව අමතමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ප්‍රජා සංවර්ධන සභාව මගින් සමාජ විගණනයක් සිදු කිරීමට අවස්ථාව සැලසෙන බව මෙන්ම රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා රුපියල් මිලියන එක් ලක්ෂ අසූදහසක් පමණ මෙවර අයවැයෙන් වෙන්කර ඇති බවත්ය.