විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක මගින් මහ මුහුදේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය සඳහා පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධි විධාන හඳුන්වාදීමට රජයේ අවධානය යොමුවී තිබේ.
ඒ, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදි ඊට පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පත්වලට ඇතුළත් විය යුතු තවත් සංශෝධන කිහිපයක්ද යෝජනා කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීම සහ අමාත්‍ය මණ්ඩල අනුමතිය සඳහා ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බව ද නිලධාරීහු පෙන්වා දී තිබේ.
මේ අනුව ඉදිරියේදී කාරක සභාව රැස්වීම සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමට තීරණය විය.
මෙහිදී රජයේ රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ eZ-cash සහ mCash ආදී මාර්ගගත ක්රමයන් මත්ද්‍රව්‍ය ජාවාරමේදී යොදාගැනීම සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර පිළිබදවද සාකච්ඡා කර ඇත.





