අක්වාන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණත්වය පහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. උතුර, උතුරු මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය හදුනාගෙන ඇති බව එම අධිකාරියේ පරිසර අධ්‍යයන සහ දැනුවත් කිරීමේ අංශයේ අධ්යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව, වැඩිම වායු දූෂණයක් වාර්තා වූ බොරැල්ල නගරයේ වායු ගුණාත්මක දර්ශකය 193ක් ලෙස සටහන්වී ඇති අතර එය සෞඛ්‍යයට අහිතකර මට්ටමකි. මීට අමතරව කෑගල්ල, මන්නාරම, වවුනියාව සහ දඹුල්ල යන ප්‍රදේශවල ද වායු ගුණාත්මක දර්ශකය 151ත් 200ත් අතර අහිතකර මට්ටමක පවතින බැවින්, වයස්ගත පුද්ගලයින් සහ ශ්වසන අපහසුතා ඇති අය දැඩි අවධානයෙන් පසුවිය යුතු බව පරිසර අධිකාරිය ඉල්ලා සිටියි.
මේ අතර, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වන අක්වාන් සුළි කුණාටුව හේතුවෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී මේ මස 20 වනදා වනවිට ඉතා දරුණු සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යානම් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වීමට ඉඩ ඇති බවද පුරෝකථනය කර ඇත.
