බ්ලූමැන්ඩල්හි පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහලු ඉන්ධන ගබඩා පර්යන්තයේ ඉන්ධන නළයකින් පෙරවරුවේ වාර්තා වූ ඩීසල් කාන්දුවට අදාළ නළයට මේ වන විට මුද්‍රා තබා තිබේ. ඉන්ධන ගබඩා පර්යන්තයේ තිබූ ඉන්ධන නළයේ සිදුරක් හේතුවෙන් මෙම කාන්දු වීම සිදු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවත් ජය බහලු පර්යන්තයේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේය.
පර්යන්තයෙන් පිටත පිහිටි කාණු පද්ධතිය හරහා ගලා ආ කාන්දු වූ ඩීසල් අවට ජනතාව විසින් රැස් කර ගැනීමට කටයුතු කර තිබුණි. බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයෙන් ආරම්භ වන එම කාණු පද්ධතිය මුහුදෙන් අවසන් වන බව පොලිසිය සඳහන් කර ඇති අතර, පස්වරුවේ මෝදර වෙරළ තීරයට තෙල් වැනි යමක් මුසු වී ඇති ආකාරය දක්නට ලැබුණු බව හිරු වාර්තාකරුවන් පවසා ඇත.
මේ අතර, කාන්දු වූ ඩීසල් පානීය ජල පද්ධතියට මුසු වී නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් අවට ප්‍රදේශවල පානීය ජල සැපයුමට කිසිදු ගැටලුවක් මතු වී නොමැති බවද එම මණ්ඩලයේ නිලධාරීහු තහවුරු කළහ.
මෙම සිදුවීම අතරතුර කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල සමන් කුමාර කියා සිටියේ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු මෙම නැව් තෙල් අංශය රජයේ මැදිහත්වීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දිය යුතු බවය.




