පාරිභෝගිකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමිතියෙන් තොර හෙල්මට් අලෙවි කරන වෙළෙඳසල්වලට එරෙහිව අඛණ්ඩව පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.
පසුගිය 27 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් දිවයින පුරා සිදු කළ හදිසි වැටලීම්වලදී ස්ථාන 98ක පරීක්ෂණ සිදු කළ බවද, එහිදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 517 ප්‍රමිතිය නොමැති හෙල්මට් ඇතුළු ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන විශාල ප්‍රමාණයක් හඳුනාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු පැවසුවේ හෙල්මට් යනු අලංකාර භාණ්ඩයක් නොව, මාර්ග අනතුරකදී ජීවිතය ආරක්ෂා කරන ආරක්ෂක උපකරණයක් බවයි. එබැවින් වෙළෙඳුන්, ආනයනකරුවන් සහ බෙදාහරින්නන් ප්‍රමිතිය සහිත හෙල්මට් පමණක් අලෙවි කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ , පාරිභෝගික සේවා අධිකාරිය සිය බලතල අනුව මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවත්, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.





