අද (03) දිනයේත් මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වලට විටින් විට වැසි ඇතිවන බවත්, සබරගමුව පළාත සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරන ලදී.

බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසිවාර කිහිපයක් අපේක්ෂා කරන අතර, මුලතිව් දිස්ත්‍රික්කයට පස්වරු 2.00න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

පැයට කිලෝමීටර් 40–50 දක්වා තද සුළං හමන බැවින් ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු පිළිබඳ ජනතාව විමසිලිමත්ව සිටින ලෙස ද දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

මේ අතර, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60–70 දක්වා ඉහළ යා හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බව දැනුම්දී තිබේ. එබැවින් එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.