තරුණ පරපුරේ සක්‍රීය දායකත්වයෙන් සමාජ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘතවිශ්ව විද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන “තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව (NRSYD 2026)” හි සුවිශේෂී පියවරක් ලෙස තෝරාගත් පර්‍යේෂකයින් 40 දෙනෙකු සඳහා දිරි දීමනා ලබා දීම ඊයේ (29දා) සිදු කෙරුණි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී එම දීමනා ලබාදීම සිදුවූ අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරුණි.
එම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, තරුණ කටයුතු අංශයේ අතිරේක ලේකම් සුමිත් ශාන්ත මහතා, ශ්‍රී ලංකාව විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුල ශ්‍රී සමරකෝන් මහතා ඇතුළු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“Young People as Right Holders and Change – Makers: Asset-based Pathways for Social Transformation” යන තේමාව ඔස්සේ පැවැත්වෙන ජාතික වැඩපිළිවෙල යටතේ, දිවයිනේ උසස් අධ්‍යාපන ආයතනවල විද්‍යාර්ථීන්, ස්වාධීන පර්යේෂකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ යෝජනාවන් අතුරින් සුවිශේෂී ව්‍යාපෘති 40ක් මේ වන විට ඇගයීමට ලක්ව තිබේ.

එලෙස තෝරාගත් විශිෂ්ටතම පර්යේෂණ ව්‍යාපෘති 40 සඳහා රුපියල් 25,000 බැගින් වූ පර්යේෂණ දිරිගැන්වීමේ දීමනා (Research Incentives) පිරිනැමීම මෙහිදී සිදු කෙරුණි.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ පර්යේෂණ ක්ෂේත්‍රය ඔස්සේ සංවර්ධන කටයුතු සිදුකිරීමෙන් වඩාත් ඵලදායි ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

මෙය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදුකරන තවත් එක් වැඩක් ලෙස නොව, තරුණ සංවර්ධනයට අවශ්‍ය දත්ත ලබා ගැනීම වෙනුවෙන් වූ ප්‍රධාන ව්‍යාපෘතියක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කළේ, ජාතික ජන බල වේගය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ “තෘප්තිමත් තාරුණ්‍යයක් – නිවහල් චින්තනයක්” ප්‍රතිපත්තිය අනුව යමින් පර්යේෂණ මත පදනම්ව තරුණ සංවර්ධන කටයුතු සිදු කිරීම වෙනුවෙන් තරුණ සංවර්ධනය පිළිබඳ පර්යේෂණ සමුළුව පවත්වන බවයි.

මෙවැනි පර්යේෂණ සමුළුවක් ලංකාවේ සිදු කෙරෙන පළමු වතාව මෙය බවත්, ඉදිරියේදී සිදු කිරීමට නියමිත තරුණ සංවර්ධන කටයුතු සඳහා මෙම පර්යේෂණ මගින් සොයාගන්නා කරුණු පාදක කර ගැනීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම පර්යේෂණ යෝජනා මඟින් ඩිජිටල් සහ හරිත ආර්ථිකය, අධ්‍යාපනය සහ නායකත්වය, කෘත්‍රිම බුද්ධිය (Al) සහ මාධ්‍ය, මානසික සුවතාවය, දේශගුණික විපර්යාස මෙන්ම තරුණ නියෝජනය සහ පාලනය වැනි කාලීන ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරේ.