අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ නියමු ව්‍යාපෘතියේ මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත් කිරිම ඊයේ (24) දිවයින පුරා දිස්ත්‍රික්ක 21 දී සිදු කෙරිණි.

නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ක්‍රියාත්මක වන මෙහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ කණන්විල සහ හීනටියන්ගල දී ඊයෙ පස්වරුවේ සිදු විය.

ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 1500 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත් ඒ අනුව මෙම වසර තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 19 ක එයටම ආවේණික සැලසුමකින් නව මධ්‍යස්ථාන 25 ක් ආරමිභ කරන බවත්, ඒ සඳහා රුපියල් මිලියන 750 ක් යොදවන බව මෙන්ම ඉතිරි මුදල් තවත් හදුනාගත් ස්ථානවල සුවතා මධ්‍යස්ථාන 175 ක් ස්ථාපිත කිරිමට පියවර ගනිමින් මෙම වසර තුළ ආරෝග්‍යා සුවතා මධස්ථාන 250 ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

එම නියමු ව්‍යාපෘතියේ අත්දැකීම් පාදක කර ගනිමින් මෙම වසර තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි නව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250 ක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇත.