සයිබර් අපරාධ ඇතුළු අපරාධ මැඩපැවැත්වීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. නොවැම්බර් 26 වැනිදා පස්වරුවේ කොළඹදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ දිවයිනට පැමිණ සිටින රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා අතර පැවති හමුවේදී මෙම ගිවිසුම අත්සන් කෙරිණි.
දූෂණය, සයිබර් අපරාධ සහ අනෙකුත් අපරාධ මැඩපැවැත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති අතර, හමුවේදී දෙරට අතර නීතිමය සහයෝගීතාව සහ සුහදත්වය වර්ධනය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා වී ඇත. දූෂණය, සයිබර් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම දෙරටටම පවතින ප්‍රධාන අභියෝගයක් බැවින් එක්ව කටයුතු කළ යුතු බව රුසියානු ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.
නවීන තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන සයිබර් අපරාධ, දූෂණ විරෝධී කටයුතු සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම ඇතුළු නීතිවිරෝධී කටයුතු මර්දනය සඳහා නවීන තාක්ෂණික සහාය ලබා දීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය. නවීන තාක්ෂණයෙන් සිදු කෙරෙන සයිබර් අපරාධ, දූෂණ, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමට තොරතුරු හුවමාරු කර ගැනීම සහ තාක්ෂණික පුහුණුව ලබා දීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බවද සඳහන් වේ.
මෙම අවස්ථාවට නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේත්තුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රුසියානු සමූහාණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.








