ඉන්දීය සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවැත්වූ හමුවට ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගි වී තිබේ.
මෙම කණ්ඩායම් හමුව නොවැම්බර් 27 වැනිදා නවදිල්ලියේදී පැවැත්වුණේ සංගමයේ 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීවය. ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුව, සාමාජික රටවල් 23ක විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් ඊට එක්ව සිටියහ.
ඉන්දියානු සාගරය වසර දහස් ගණනක් තිස්සේ කලාපයේ ජනතාව අතර ඓතිහාසික හා සංස්කෘතික සබඳතා ගොඩනැඟීමට දායක වී ඇති බව මෝදි මහතා එහිදී සඳහන් කළේය. සංගමයේ සභාපති රට ලෙස සියලු සාමාජිකයන් සමඟ සමීපව කටයුතු කරමින් කලාපයේ සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ පොදු සමෘද්ධිය ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව මෙම අමාත්‍ය හමුවට සහභාගි වූයේ සංගමයේ සභාපතිත්වය අවසන් වරට දැරූ රට සහ සභාපතිත්වයට අදාළ ත්‍රිත්ව යාන්ත්‍රණයේ සාමාජිකයකු ලෙසය.
අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇමතූ විජිත හේරත් මහතා, සමුද්‍රීය ආරක්ෂාව, ධීවර කටයුතු, ආපදා සූදානම සහ සාගර සම්පත් තිරසරව භාවිත කිරීම සඳහා ප්‍රායෝගික සහයෝගිතාව පුළුල් කළ යුතු බව අවධාරණය කළේය. කලාපීය එකඟතා වෙරළබඩ ජනතාවට සෘජු ප්රතිලාභ ලැබෙන වැඩපිළිවෙළ බවට පත් කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර, සමුළුවට සමගාමීව හේරත් මහතා සහ මාලදිවයින් විදේශ අමාත්‍ය ඉරුතිෂාම් ආදම් අතර වෙනම හමුවක්ද පවත්වා ඇත. එහිදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබේ.


